අටපට්ටම් වූ ජීවිතය..
මේ අවුරුද්දේ වෙසක් උත්සවයත් අපිට සමරන්නට සිදුවෙන්නේ නිවෙස් වල සිටමයි. ඒත් ඇත්තටම බෞද්ධ දර්ශනයේ උගන්වන ජීවිතයේ යතාර්ථය වටහාගන්න මේ කාලය තරම් සුදුසු කාලයක් තවත් නෑ නේද?
අනෙක් සෑම දෙයක්ම වගේ වෙසක් උත්සවයත් අද වෙනකොට බොහෝ වානිජකරණයට ලක්වෙලා තියෙනවා. දන්සැල් වලින් දෙන අයිස්ක්‍රීම් එකක් රස විඳිමින්, විදුලි බුබුලු වලින් එකාලෝක වූ විවිධාකාර වෙසක් කූඩු නැරඹමින්, එකිනෙකාගේ අතේ එල්ලී වෙසක් කලාපල වල ඇවිදින ආදරවන්තයින්ට මේ ලෝකය කොතරම් සුන්දරද කියලා හිතෙන්නට පුලුවන්. ඒකෙ වරදක් කියනවා නෙවෙයි මොකද අපිත් එහෙම ඇවිදපු කාලයක් තිබ්බා. ඒත් බුදු තෙමඟුල සිහිපත් කරන වෙසක් දා ඊට වඩා අර්ථවත් ලෙස ගතකරන්න පුලුවන් නම් කොච්චර වටිනවද?
අපේ පැරැණ්නන් විසින් නම් මේ උත්සවයේ සැරසිලිද යොදාගත්තේ කුඩා දරුවන්ටද බුද්ධ දර්ශනය ගැන පාඩම් කියාදෙන විදියටයි.
අටපට්ටම නමැති වෙසඟ සංකේතවත් කරන කූඩු සැරසිල්ල නිර්මාණය වෙලා තියෙන්නෙම ජීවිතයේ යතාර්ථය පිළිබිඹු කරන්නයි. මේක සමකෝණී ත්‍රිකෝණ අටකින් නිර්මාණය කරන නිසා අට-පට්ටම යන නම යෙදී තියෙනවා. මේ අටෙන් සංකේතවත් කරන්නේ 'අට ලෝ දහම' නැමැති ජීවිතයේ අපි කාටත් මුහුණදීමට වෙන සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංසා, යස, අයස යන්නයි. මේ අට සමසේ තිබ්බොත් තමයි අටපට්ටම ඇද නොවී පවතින්නේ. අපේ ජීවිතයද අන්න ඒ වගේමයි, හොඳ වගේම නරකත් අපි කාටත් සම සමව හිමියි.
මොහොතක ලැබෙන සතුට හමුවේ මේ ජීවිතය සැපැයි කියල හිතන්නෙත්, නොලැබීම් හමුවේ ජීවිතය දුකයි කියල හිතන්නෙත් මුලාවේ නැත්නම් අන්ධකාරයේ සිටින අයයි. අටපට්ටම මැද සවි කරන ඉටිපන්දමෙන් සංකේතවත් කරන්නේ මේ අවිදු අඳුර දුරුකර, සත්‍ය තේරුම්ගත් කෙනාගේ සිතයි.
විව්ධ වර්ණයෙන්, විවිධ හැඩ දමා කූඩුව සැරසීම අපි බාහිර ආටෝපයක්ගෙන් ජීවිතය ලස්සන කරන්න හදනවා හා සමයි. ඒ මොන දේ කරත්, ඇතුලින් අලෝකමත් නොවූ කූඩුව ලස්සනක් පේන්නෙ නෑ. ඒ වගේම, සිත දියුණු නොකරපු, කෙලෙස් පිරුණු කෙනාගේ ජීවිතයත් කාටවත් ප්‍රයෝජනයක් නෑ, සැබෑ ලස්සනක් නෑ.
පැය ගණනක් අමාරුවෙන් ආසාවෙන් ලස්සනට හදල එල්ලන කූඩුව, හුළං පාරත් එක්ක විනාඩි කිහිපයකින් ඉටි පන්දම් දැල්ල ඇවිලී ගිණි ගන්නවා. මේක දිහා බලං ඉන්න කුඩා දරුවෝ හඬද්දී මේ ලෝකයේ සෑමදෙයක්ම මේ වගේම විනාශයට පත්වෙන බව වැඩිහිටියො වටහලා දෙනවා.
ගින්දරට අසුවුණේ නැතත් දවසක් දෙකක් යනකොට කූඩුව අව්ව, වැස්ස හමුවෙ අවපැහැ වෙනවා, කැඩී බිඳී යනවා, අර තිබ්බ ලස්සන නැතිවෙලා යනවා.
බාහිරෙන් මොන ආටෝප යොදා සැරසුවත් අපේ ශරීරයත් මේ ලෙස දිරාපත් වෙනවා. අවසන මරණයෙන් කෙලවර වෙනවා.
ඒත් අද කාලයේ කඩෙන් කූඩුවක් අරං බල්බ් එකක් දාලා එල්ලන ගෙවල්වල දරුවන්ට මේ පාඩම ලැබෙන්නෙ නෑ. ඊටත් වඩා ඛේදනීය කාරණය නම් අනිත්‍යයි පෙන්නුම් කරන්න හදන අටපට්ටමත් අද නොදිරණ පොලිතින් ප්ලාස්ටික් වලින් නිර්මාණය වෙනවා. එහෙමයි කියල ඒක සදාකල් පවතින්නෙ නෑ. දවස් කිහිපයක් වැඩිපුර තිබ්බට අන්තිමට කුණු ගොඩඩ එකතුවෙලා අපේ පරිසරය අපවිත්‍ර කරන නොදිරණ කුණු ගොඩක්ම වෙනවා.
අටපට්ටමේ කතාව වගේම මේක කියවන ඔයාලට දෙන්න හදන අවසන් පණිවිඩය මේකයි. බුදුදහම කියන්නෙ සොබාදහම හා සමීපව බැඳුණු දහමක්. ඉතින් සොබාදහමට බොහෝ ගෞරවය කරපු අප බුදුන්ගේ තෙමඟුල සිහිකරන දා අපේ පහසුව වෙනුවෙන් පරිසරය අපවිත්‍ර කරන සැරසිලි යොදාගන්නෙ නැතුව, සම්ප්‍රදායට මුල් තැන දෙන්න හිතට ගන්න.

උදාවෙන පොහොය සියල්ලන්ටම ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන පිණ්බර වෙසඟක් වෙවා!