top of page
Search

චීස් සහ චොකලට්!

මගේ දෙවැනි බබා ලැබෙන්න ඉන්න විට ඇත්තටම අපි දෙන්නගෙම ආසාව තිබ්බෙ දුවෙක්ට. ඉතින් scan එකෙන් ඒ ආශාව සැබෑ උන බව තහවුරු කරගත් පසුව මේ සතුටු අරංචිය මගේ අම්මාත් සමඟ බෙදාගන්න දුරකථන ඇමතුමක් ගත්තෙමි.


"ආනේ හොඳයි එහෙනම් දුවෙකුත් ඉන්නවා. එයා හොඳින් නේද? පැහැදිලිව පෙනුනද?"

"ඔව්, මූණ දෙපැත්තෙන් අත් දෙක ගුලි කරගෙන කම්මැලියෙක් වගේ හිටියෙ"

" ආ.. එච්චර පැහැදිලිව පේනවද.. එහෙනම් බබා සුදුද?"

"මොනවද අම්මි මේ අහන්නේ! Ultrasound එකෙන් සුදු කළු පේනවද. අනික සුදු උනත් කළු උනත් මොකද. නීරෝගිව ඉන්නවනම් ඇතිනෙ!"

"ඔව් ඒක ඇත්ත ඉතින් මම නිකන් ඇහුවෙ"


බබා හම්බෙච්ව දවසේ රෝහලට පැමිණි මගේ මවගේ කණගාටුව සඟවිය නොහැකි විය. ටික වෙලාවකට පසු ඒ දුක මෙලෙස වදන් විය "හැබැයි අය්යා වගේ පාට නෑ නේද, අය්යානම් ඉපදිච්ච දවසේ චීස් බෝලයක් වගේ හිටියෙ.."


"හ්ම්ම් පස්සෙ හරි යයි" කියා ඒ ඇයගේ සිත සැනසූ මුත්, එය එලෙස පස්සෙ හරිගියේ නැත. ඇය තවත් කළු උනා මිස සුදු උනේ නැත.


මම ගොඩාක් සුදු නැති මුත් සුදුයි යන කාණ්ඩයට අයිති අයෙක්මි. ඒ සුද මට ලැබී ඇත්තේ මගේ පියාගේ මවගෙන් ලද දයාදයක් ලෙස විය යුතුය. මම කුඩා කල ඇයව හැඳින්වූයේ 'චීස් බෝල ආච්චී' කියාය. මගේ දෙමාපිය දෙපලම සුදු නැත, තලෙළු යැයි කිව හැක. මම කවදාවත් මගේ සුද ගැන කිසුදු තැකීමක් කර නැත. මම සුදු යැයි මට දැනී නැත, ඒ මට වඩා කළු අය වගේම මට වඩා සුදු අයත් ඕනෑ තරම් සිටින නිසාවෙනි.

මගේ සැමියාද කිසුදු තැකීමක් නැතිව අව්වේ යන නිසාවෙන් අව පැහැ ගැන්වී සිටින මුත්, සාමන්‍යෙයෙන් සුදු කාණ්ඩයටම අයිති වන්නෙකි. ඔහුගේ දෙමාපියන්ද එලෙසය. මගේ දරුවන්ගේ හතර වරිගේ සුද පිලිබඳ විස්තරය එලෙසය.


කෙසේ හෝ වේවා, අම්මා කියුවත් වගේ මගේ පුතා උපන් දා සිට සුදුම සුදුය, අපි කාටත් වඩා පාටින් වැඩිය. දියණිය කළු යැයි කීම අසාධාරණ මුත්, අය්යාගෙ සුදත් සමඟ සැසැඳීමේදී වෙනස පැහැදිලිය. වරින් වර මේ වෙනසේ අරුමය මට කියා පෑමට අප හමුවන බොහෝ දෙනා කාරුණික වූවෝය.


ඇත්තටම අපේ සමාජයේ පවතින මේ සුදු කළු භේදය මට නම් විහිලුවකි. ඒත් දියණිය සුදු කරගැනීමට මට උපදෙස් දෙන මගේ මව ගැන මෙන්ම, කුස තුල ඉන්න දරුවා සුදු කරගන්නේ කොහොමද කියා මගෙන් අසන මව ගැනත් මට ඇත්තේ සානුකම්පාවකි.

හෙළ සිංහලයාගේ පාට නම් කළු බවටත්, ඔවුන් ඒ පිලිබඳ ආඩම්බර වූ බවටත් නිදසුන් බොහෝය. හෙළ දිව රජෙකු වූ කාවන් තිස්ස යන නෙමෙහි තේරුම කළු වන් තිස්ස යන්නයි. වලගම්බා රජතුමන් මහා කළු සිංහලයා නමින් හැඳින්වූ අතර හෙළ රජ පෙලපතේ සුදු සිංහලයො නම් නොවීය.


මේ රටේ ගම් වල කළු මැණිකාට සහ කළු එතනාටත් හිමිවූයේ රන් මැණිකාට සහ රන් එතනාට හිමි වූ සම තැනමය. කළු වීම අගයෙන් බාල වීමට හේතුවක් නොවීය.

මහගමසේකරයන් "හිනාවෙයන් කළු හිනාවෙයන්" කියා එදා ගී පද වැල් බැඳි මුත් මේ ගීය අද ලිය වුනානම් "හිනාවෙයන් සුදු හිනාවෙයන්" කීම අත්‍යාවශ්‍ය වනු ඇත. කිමද අද කවුරුත් කළු කෙල්ලන් සොයන්නේ නැත, හැමෝටම ඕන වී ඇත්තේ සුදු අම්මියෙක් සොයා ගැනීමටය.


මෙයද සුද්දාගේ ආගමනයේ අතුරු ඵලයක් නොවේද? පිට රටින් එන ඕන කුණු ගොඩක් බදා ගන්නා සිංහලයාගේ යටත් විජිත මානසිකත්වයට ඔවුන්ගේ සමෙහි පාටද අපිට හිමි පාටට වඩා හොඳ විය. මේ හීන මානයෙන් ප්‍රයෝජන ගත් බොහෝ ව්‍යාපාර සුදු වෙන්නට නානාවිද ආලේපන සහ සුකුරුත්තම් අපිට විකිණීමට එය හොඳ අවියක් කරගත්තෝය.


මෙවන් සමාජයක උපත් ලබා ඇති මගේ දරු දෙදන දවසක් සෙල්ලම් කරන ගමන් අය්යා මෙසේ පවසයි:

"නංගි හැබැයි කළුයි නේද අම්මි. මේ බලන්න, පුතා නම් සුදුයි"

ඒ වදනින් හටගත් කම්පනය සහ දුක සඟවා ගත් මම: "ඉතින් සුදු උනත් ලස්සනයි කළු උනත් ලස්සනයි නේ. පුතා චීස් වගේ, නංගී චොකලට් වගේ"


ඒ අලුත් අදහසින් පිනා ගිය ඔහු "ඔව්මයි නංගි චොකලට් වගේ!!" කියමින් උඩ පනින්නට විය.


එදා සිට මේ නංගී ඒ අය්යාගේ "චොකලට් බෝලේ" නම් විය.


280 views4 comments

Recent Posts

See All
Post: Blog2_Post
bottom of page